MBSL ආයතනයෙන් ස්වයංරැකියාලාභීන්ට නව ලීසිං පැකේජයක්

Home > News & Events

MBSL ආයතනයෙන් ස්වයංරැකියාලාභීන්ට නව ලීසිං පැකේජයක්

මර්චන්ට් බෑන්ක් ඔෆ්  ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී (MBSL) ආයතනය, විසින් තමන් කැමති ඕනෑම වෙළඳ නාමයකින් ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට උනන්දුවක් දක්වන අය වෙනුවෙන්ම කැපවූ නවතම ලීසිං සේවාවක් ‘MBSL-වීල් ඩීල්’ නමින් හදුන්වා දී  තිබේ.   වර්තමානයේ, ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය හේතුවෙන් සිවිල් වැසියන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සැපයුම් සේවා ප්‍රවාහනය කිරීම සඳහා ඉල්ලුමක් ඇති වී ඇති අතර, මෙම වාහන කාණ්ඩය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එම ඉල්ලුම සපුරාලීම සඳහා සුදුසු වේ. රටේ පවතින අයහපත් ආර්ථික තත්වය තුළ ස්වයංරැකියා අංශයට මූල්‍ය සහය ලබා දීම සඳහා මෙම යෝජනා ක්‍රමය සැලසුම් කර ඇත. මෙම විශේෂිත ලීසිං පහසුකම සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, ස්වයං රැකියාලාභීන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ත්‍රිරෝද රථ පූර්ණ කාලීනව රැකියාවක් ලෙස තෝරා ගැනීමට කැමති ලබා ගත හැකිය. ‘MBSL-වීල් ඩීල්’ ලීසිං ක්‍රමයෙන් සියළුම පාරිභෝගිකයින්ට නොමිලේ රක්ෂණ පැකේජයක් ලබා ගත හැකි අතර එහිදී පාරිභෝගිකයාට කැමති රක්ෂණ සමාගමක් තෝරා ගැනීමේ හැකියාව ඇත. තවද මෙම ලීසිං පහසුකම ලබා ගන්නා පාරිභෝගිකයින්ට වගකීමක් සහිතව නොමිලේ සම්පූර්ණ HD ඩෑෂ් කැමරාවක් හෝ නොමිලේ DSI ටයරයක් ලබා දෙයි.  පාරිභෝගිකයින්ට  ඔවුන්ගේ ආදායම අනුව මාසික වාරිකය තෝරා ගැනීමේ හැකියාව ද ඇත. එසේම ලීසිං පහසුකම ලබා ගැනීම සදහා අවම ලියකියවිලි අවශ්‍ය බැවින් දිනක් ඇතුළත එය අනුමත කළ හැකිය.

1982 දී ආරම්භ කරන ලද MBSLආයතනය 1991 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත්විය. වර්තමානයේ එය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික මූල්‍ය සේවා ක්ෂේත්යේ අති සාර්ථක පුරෝගාමි මූල්‍ය  ආයතනයක් ලෙස ස්වකීය ගනු-දෙනුකරුවන්ට  ලීසිං පහසුකම්, සුළු හා මධ්‍යයම පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම්, වෙළෙඳ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශක සේවා, කොටස් වෙළෙඳපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙදාම සහ රන් ණය සේවා යනාදි මූල්‍ය සේවා රැසක් සපයයි.

MBSL ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ උපාය මාර්ගික කොටස් ප්‍රමාණය 74% කි. MBSL ආයතනයේ දිවයින පුරා ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 49 ක් ස්ථාපිත කර ඇත.